බුදු දහමේ අන්තර්ගතය ඇතුළත්  ත්‍රීපිටකය  ජාතික  උරුමයක්  ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලුවිහාරයේදී  ජනවාරි  මස 05 දින පැවැත්වීමට සැලසුම් කොට ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්   චන්ද්‍රපේම ගමගේ මහතා පැවසීය.   වසර 2300කට  අධික  කාලයක්  භික්ෂුන් වහන්සේලා හා ශ්‍රි ලාංකික බෞද්ධ ප්‍රජාව  විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින්  ආරක්ෂා කළ  ශ්‍රි ගෞතම සම්බුද්ධ දේශනාව ඇතුළත් ත්‍රීපිටකය විවිධ අයුරින් වෙනස්කම්වලට භාජනය කිරිම නිසා ත්‍රීපිටකය සුරක්ෂිත කිරිමේ අරමුණින්  ජාතික උරුමයක් වශයෙන්  නම් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බවද   චන්ද්‍රපේම ගමගේ මහතා පැවසීය.     

            අස්ගිරි මල්වතු ඇතුළු ත්‍රෛ නිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුක 2000ක  භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්  උත්සවය පැවැත්වීමට සැලසුම් කොට තිබේ.  ජනවාරි 04 දින  සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා පසු දින 2000කට අධික මහ සංඝරත්නය උදෙසා  සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වීමට නියමිතය.  මෙදින මෙම කටයුත්ත සිහිපත් කරනු වස්   අතිගරු ජනාධිපතිතුමාගේ  සුරතින් ශිලා ලේඛනයක්  ස්ථාපනය කිරීමට නියමිතය. මීට අමතරව  ග්‍රන්ථ 51කින්  සමන්විත ත්‍රීපිටක ග්‍රන්ථ කට්ටලයක්   දිවයිනේ සෑම විහාරස්ථානයකටම ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවද  බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයා  පැවසීය.

            මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි  දෙසැම්බර් 07 දින පැවැති  මෙම  සාකච්ඡාවට  මාතලේ  දිසාවේ  ප්‍රධාන  සංඝනායක  ශාස්ත්‍රපති  කොස්ගොල්ලේ  සීලරත්න හිමි,  දකුණු මාතලේ  ප්‍රධාන සංඝනායක  හා දිස්ත්‍රික් ලේඛකාධිකාරි  පුජ්‍ය උඩුරාවන  සුමනරතන  හිමි, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා, බෞද්ධ කටයුතු  කොමසාරිස්  සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්  නිලධාරින් රැසක් සහභාගි විය.

           Untitled 1