මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගර සභා සීමාව, රත්තොට හා උකුවෙල  යන ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්  ගලේවෙල, දඹුල්ල ඇතුළු අනෙකුත් කොට්ඨාසවලද ඩෙංගු රෝගින් වාර්තාවීම් වැඩිවෙමින් පවතින බව ප්‍රාදේශීය වසංගත වේදඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර  මහතා පවසයි. මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ  ඩෙංගු රෝග තත්වයේ තුන්වන අවස්ථාව බවත්  එවැනි  අවස්ථාවක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු පහසුවෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.   මේ වන විට මාතලේ   දිස්ත්‍රික්කයෙන්  ඩෙංගු රෝගින් 700ක් පමණ  වාර්තා වී ඇති බවත්  ඩෙංගු බෝවිම වලක්වා ගැනීම දිස්ත්‍රික්කයේ සියළු දෙනාගේම වගකීමක් බවත්  වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

          පසුගිය  25 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවේදී  මෙම තොරතුරු අනාවරණය විය.  මෙම අවස්ථාවට සහභාගි වු  මාතලේ දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය  සේපාලි වික්‍රමතිලක මහත්මිය  අදහස් දක්වමින් මේ වන විට ඩෙංගු රෝග වෛරසයේ  තුන්වන ආකාරය ක්‍රියාත්මක බවත්  මේ යටතේ ඩෙංගු රෝගයට වැළදුන පසු ඉතා ඉක්මනින්  ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වන බවත් පැවැසීය. මෙනිසා උණ රෝගය වැළැදී මුල් දිනයේම ප්‍රතිකාර වෙත යොමු විය යුතු බවත්,  පිරිසිදු වතුරේ  මදුරුවන් බෝවන නිසා  ඒම ස්ථාන නිවැරදිව හදුනාගනිම් ඊට කඩිනම් විසදුම් සෙවිය යුතු බවත් ඇය පැවැසීය. ඒසේම ගර්භනී මාතාවන්ට  ඩෙංගු වසංගත තත්වය  දැඩි අඩවදානම් බවද   වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

          අතිරේක දිස්ත්‍රික් ලේකම්  ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඩෙංගු මර්දන කමිටු රැස්වීමට, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ  සජීවා විතානගේ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.